
“අපි දරුවෙක් හදන්නේ නැද්ද මනු? දැන් බැඳලා අවුරුදු කීයක් උනාද?”
“අපි දරුවො හදන්න ලෑස්තිද චතූ”
“ඔයාට නම් මොකද එක එකා අහන ඒවා අහන්නේ මගෙන්නේ”
“රටේ ලෝකේ එවුන් කියන පලියට අපි ළමයි හදන්න ඕනද? ළමයින්ගේ අනාගතේ ගැන වග කියන්නේ අපිද රටේ ලොකේ උන්ද?”
“මොනව වුනත් ලබන පාර මම බර්ත් කන්ට්‍රෝල් ඉන්ජෙක්ෂන් එක ගහගන්නේ නෑ”
“එහෙනම් මම සිංගපෝර් බිස්නස් එක බලාගෙන එහේ ඉන්නම්, ඔයා අපහු ඉන්ජෙක්ෂන් එක ගහන්න රෙඩි උනාම මම එන්නම්”
“මේ විදිහට ගියොත් අපිට නාකි වෙනකම් දරුවෝ හදන්න වෙන්නේ නෑ මනු”
“නාකි වෙන්න කලින් දරුවෝ හදන්න ඕන කියන එක නෙමෙයි හිතන්න ඕන. දරුවට හොඳින් හැදෙන්න පරිසරයක් තියෙනවද කියන එක. දරුවෝ හැදෙන්න ඕන දෙමාපියන් සතුටින් ජීවත් වෙන සුන්දර පරිසරයක චතූ. එහෙම නැති උනාම සමාජයට යන්නේ යහපත් පුරවැසියෙක් නෙමෙයි – සමාජයට වෛරකරන කෙනෙක්”
“අපිට ඉතිං සතුටින් ඉන්න බැරි ඔයාගේ පිස්සු වැඩ නිසානේ”
“ඔයා මගේ පිස්සු වැඩ කියලා හඳුන්වන ඒවා මම හඳුන්වන්නේ මගේ මනුස්සකම කියලා. ඒ දේවල් පිස්සු වැඩ කියලා මටත් හිතෙන දවසක ඔයායි මායි එකම තැනක ඉන්න නිසා අපිට සතුටින් ඉන්න පුලුවන් වෙයි. එතකම් චතූ අපි දරුවෝ ගැන නොහිතා ඉමු”
“පිස්සු වැඩ නෙමෙයිද? ඔයා ඉගෙන ගන්න කාලේ රස්සාවක් කලා උනත් ඔයාට සතයක් වත් නොදුන්නු ලොකු අයියගේ පවුලම නඩත්තු කරන්නේ ඔයානේ දැන්. එයාට කිසි බරක් නෑ ඇයි ඉතිං ඔයා ඔක්කෝම කරනවනේ. මෙහෙම ගියොත් අපිට කවදාවත් අපේම කියලා ගෙයක් දොරක් හදාගන්න වෙන්නේ නෑ”
“අපේම කියලා ගෙයක් නැති උනාට අපි මහපාරේ නිදියනවා නෙමෙයිනේ. ලොක්කයියයි පොඩීයි වෙනම ඉන්න එකේ මහගේ මදිද අපි හතර දෙනාට ඉන්න? අනික ලොක්කයියා පුලුවන් කාලේ මම වෙනුවෙන් කිසි දෙයක් කලේ නැති උනත් ඒ මගේ අයියනේ. ලොක්කයියයි නිලූපා අක්කයි ළමයි ටිකයි බඩ ගින්නේ ඉන්නකොට මට තනියෙන් කාලා බීලා ඉන්න පුලුවන් වෙයි කියලා ඔයා හිතනවද – අනික මම මහලොකු දෙයක් කරනවද වියදමට සුලු ගානක් දෙන එක විතරයි”
“ඒකෙන් වෙලා තියෙන්නේ මොකද්ද ලොකු අයියට වගකීමක් නෑ ඇයි ඔයායි පොඩි අයියයි ඕන දේකට මුල් වෙලා එයාගේ ප්‍රශ්න වලින් ගොඩ දානවනේ. එයාට ඒක නිසා උනන්දුවක් නෑ මහන්සි වෙන්න”
“ඒක එයාගේ ලැබීම. එයාට තියෙන කාලේ අපි වෙනුවෙන් මොකුත් නොකරපු හින්දම වෙන්න ඇති දැන් කරන කිසි දෙයක් සාර්ථක වෙන්නේ නැත්තේ. මට – මම පුලුවන් හැම වෙලාවෙම අනුන් වෙනුවෙන් මගෙන් කෙරෙන්න ඕන දේ කරන නිසා තමයි මට හැමදේම ලැබෙන්නේ. මම හිතන්නේ එහෙමයි”
“ඔයා එහෙනම් ඉතිං හැමදාම අනුන්ටම කර කර ඉන්න එහෙනම්”
“ඇස් කන් නැතුව වගේ කතා කරන්න එපා චතූ. පොඩි අයියා මගේ හැමදේම හොයල බලනවා. ඕන හදිසියකට ඌට පුලුවන් කමටත් වඩා දේවල් කරනවා. මට විතරක් නෙමෙයි ලොකූ වෙනුවෙනුත් අම්මයි තාත්තයි වෙනුවෙනුත් ඌ එහෙමයි”
“හ්හ්ම්ම් එයා විතරයි ඔයා ගැන එහෙම වත් හිතන්නේ”
“ජීවිතේ හැමදේම අනුන්ගෙන් ලබා ගැනීමක් විතරක් කියලා හිතන්න එපා. ජීවිතේ කියන්නේ බෙදා හදා ගැනීමක්. මගෙන් ලොකූට දෙන්න මගේ දෛවයේ ලියවිලා. පොඩීගෙන් මට ලැබෙන්නත් ඒ දෛවයේම ලියවිලා. මම ලොකූ වෙනුවෙන් දේවල් කරන්නේ ලොකූ වත් දරුවො වත් අනාගතේදී වත් මම වෙනුවෙන් යමක් කරයි කියන බලාපොරොත්තුවෙන් නෙමෙයි. මට එහෙම නොකර මගේ හර්ද්‍ය සාක්ෂියෙන් ගැලවෙන්න බෑ. වතුර වලට වඩා ලේ ඝනකමයි චතූ”
“ඔයා කොයි තරම් දේවන් අනුන් වෙනුවෙන් කලත් ඒ අය කිසි කෙනෙක් ඔයාගේ සැප දුක වත් අහනවද? හැමදේටම ඉන්නේ මම විතරයි. ඒ නිසයි මම කියන්නේ ඔය අනුන්ට කරන එක නවත්වලා අපිටම කියලා දෙයක් කරගන්න පටන් ගන්න කියලා”
“ඔයා කතා කරන්නේ මම ඔයාට යුතුකම් ඉෂ්ට කරන්නේ නෑ වගේනේ. ඔයාට විතරක් නෙමෙයි ඔයාගේ අක්කලට වුනත් ඕන දේකදී මම උදව් කලේ නැද්ද? කරන්නේ නැද්ද? ඔයාට මොනවයින්ද අඩු? මේ ගෙදර ඉන්න බැරි කමක් තියෙනවනම් ගෙයක් හදා ගන්න කම් ගෙයක් කුලියට අරන් යමු. ඒත් මම අනිත් අය වෙනුවෙන් දේවල් කරන නිසා ඔයාට වත් අපේ පවුලේ දේවල් වලට වත් හානියක් අඩුපඩුවක් වෙන විදිහට ඇඟවෙන විදිහට කතා කරන්න එපා”
“හානියක් වෙන්නේ නැත්තේ කොහොමද. ඔයාට මොනව හරි වුනොත් මට මොකද වෙන්නේ? බරපතල අසනීපයක් වත් හැදුනොත් ගන්න කියලා අපි ඉතුරු කරලා තියෙනවද? අනේ මන්දා ඔයාට කවදා තේරෙයිද කියලා මම මේ දේවල් කියන්නේ ඔයාට තියෙන ආදරේට කියලා”
“ඔයා ආදරේට කියලා කරන්න කියන දේවල් වලින් මගේ සතුට කියන දේ නැති වෙනවනම්, මම තව කෙනෙක් වෙනුවෙන් මගෙන් කෙරෙන්න පුලුවන් දෙයක් කරලා ලබන සතුට නැති වෙනවනම් කොටින්ම මනුස්සයෙක් විදිහට මට මාව නැති වෙනවනම්, ඔයාගේ ඒ ආදරේට කියන දේවල් වලින් මට පලක් වෙනවද චතූ”
“අනේ මන්දා මනු ඔයා කවදා මාව තේරුම් ගනීද කියලා”
“මට අහන්න ඕනෙත් එකමයි චතූ ඔයා කවද්ද මාව තේරුම් ගන්නේ”
“ඔයාව තේරුම් ගන්න කියන්නේ මනු ඔයා කරන හැමදේම ප්‍රශ්න කරන්නේ නැතුව ඉන්න කියන එකනේ”
“එතකොටමට ඔයාව තේරුම් ගන්න කියන්නේ ඔයාගේ පදේට මම නටන්න ඕන කියන එක නෙමෙයිද”
“මේ විදිහට වාද කර කර ඉඳලා අපි හැරමිටියෙන් යන කාලෙට තමයි ළමයි හදන්න වෙන්නේ”
“හැරමිටියෙන් යන කාලේදි හරි කමක් නෑ අපි දෙන්න සන්තෝසෙන් ඉන්න ඕන කියලා හිතලා එකට හිනාවෙන දවසක් එනකම් අපි ඉමු චතූ – එහෙම නැතුව මිනිස්සුන්ගේ කටවල් වහන්න කියලා ළමයි හදන්න යෑම අපි අපිවම රවට්ට ගැනීමක් විතරක් නෙමෙයි උපදින්න ඉන්න ළමයින්ටත් කරන අසාධාරණයක්”
“වැඩක් නෑ කතා කරලා. අන්තිමට මම වැරදිකාරයා ගානට වැටිලා ඉවර වෙන එක විතරයි හැමදාම වෙන්නේ. මොනව කරන්නද”
“අපි බැඳ ගත්ත වෙනුවට බෙරේ ගහන දෙන්නෙක් නොවී සතුටින් එකිනෙකා අඳුන ගෙන ජීවත් වෙන දෙන්නෙක් වෙනකම් මට ඉවසීමෙන් ඉන්න පුලුවන් චතූ. ඒ දවස හෙටද නැතිනම් හැරමිටියෙන් යන කාලෙටද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. මුල් කාලේදී මේ වාද වලින් මම හොඳටම වේදනා වින්දා. ඒත් දැන් මම පදම් වෙලා. හිත රිදෝ ගන්නේ නැතුව ඉවසීමෙන් ඉන්න මම දැන් උත්සාහ කරනවා”
වාදය හිත නොරිදෙව්වත් ඈතින් ඇසෙන ගුණදාස කපුගේ ගේ ගීතයක “ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය – අපට මියෙන තුරු හැඳිනිය හැකි වෙද” පද මගේ හිත රිදෙව්වා.
චහ්... නියම ලිවීමක්නෙ බං. මේක මේ ගොඩක් පිරිමින්ගෙ කතාව වගේ තමයි. දරුවො සෑදීම ගැනත් මම අම්බානක එකඟයි. හැදෙන්න හොඳ පරිසරයක් නැතිව ළමයි හදල උන් නොහැදෙනකොට උන්ව මරවන එකනෙ ගොඩක් විට වෙන්නේ...
ReplyDeleteඅපූරුයි... කාලෙකින් දැක්කෙ.. පහුගිය කාලෙ මක්කැයි වුණේ...
ReplyDeleteHare - ස්තූතියි හරේ
ReplyDeleteChathura - බිස්නස් වලට හිරවුනා චතුර. මේල් යූස් කරන්න විතරයි ඉන්ටර්නෙට් ආවේ.
හ්ම්ම්.., අවුරුද්දකට පස්සේ පළවෙනි approach එක නරකමත් නෑ.., දිගටම ලියන්න කියලා බලකරන්න අයිතියක් නැති වුනත් හැකි කලෙක නොනවත්වා ලියන්න කියලා ඉල්ලා හිටින්න කැමතියි..!!
ReplyDeleteජය..!!
සද්ද දාන්නේ නැතුව හිටියට කමක් නෑ ඒත් ආපහු යන්න එපා..!!
ස්තූතියි..! :)
කාලින මාතෘකාවක්.නියමෙට ලියලා තියෙනවා.
ReplyDeleteඒත් මචං....පරක්කු වෙලා ළමයි හදන එකට මම නම් එකග නෑ.
ඒක මගේ පුද්ගලික මතයක්.
නිල් අහස - පවුලේ සන්තෝසයක් නැත්නම් ළමයි හදන්නේ නැතුව ඉන්න එකයි හොඳ මචන්. නැත්නම් ළමයි පව් නේද?
ReplyDeleteLishan Puwakowita - බිස්නස් වැඩ එක්ක පුලුවන් වෙයිද දන්නේ නෑ මචන් ඒත් බලමු
දරුවන්ට ඉන්න පරිසරයක් සකස් කර ගන්න එක ඔය තරම්ම අමාරුද ..
ReplyDeleteකොහොම හරි ඒ පරිසරය සකස් කරගෙන දරුවෙක් හදා ගත්තොත් සමහර වෙලාවට අපිට විසඳ ගන්න බැරි ප්‍රශ්න ඒ දරුවා නිසා ඉබේටම විසඳෙනවා .......
මේ සත්ය කතාවක්ද?මේ කතාවේ හැටියට මනු නොබැද ඉන්නයි තිබුනේ මොකද විවාහ වන ඕනෑම බිරිදක් තමන්ගේ කියලා දරු පැටියෙක්හදාගෙන තමන්ගේ සැමියාත් එක්ක සතුටින් එක ගෙදරක ජීවත් වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ.නමුත් මනුට තමන්ගෙ පවුල ගැන තැකීමක් නෑවගේනේ.
ReplyDeleteතමන්ගේ විවාහයෙන් පසු තමන්ගේ දෙම්ව්පියන්ට සහෝදරයන්ට සලකන එක අත්හරින්නත් වටින්නෙ නෑ.නමුත් වැඩිමහල් සහෝදරයාට තමන්ගේ පවුලේ වගකීම් ගැන හිතන්න මනු ඉඩ තියන්නේ නැහැනේ. මෙම සැමියා එම බිරිදට කරන්නේ අසාධාරනයක් ඇය ගැන කිසිම අනුකම්පාවක් නැතිවයි ඇයට කතා කරන්නේ.ඇයව විවාහ කර ගැනීමේ අරමුන මොකක්ද ඇගෙන් කිසියම් පලිගැනීමකට ඇයව විවාහා කරගෙනදෝයි සැකයක් ඇති වෙනවා ඔබේ මේ කතාව කියෙව්වාම.ඔබ මේ කතාව තාත්වික විදියට ලියලා තියනවා. කමෙන්ටුව දිග වැඩි උනා වගේ. ඔබට ජය!!!
නදීෂා
කල්හාර දිසානායක - ප්‍රශ්න විසඳුනොත් හොඳයි. තව තවත් නරක් වුනොත් දෙන්නගේ ජීවිත විතරක් නෙමෙයි දරුවන්ගේ ජීවිතත් අඳුරේ නේද? ඊට වඩා හොඳයි නේද දෙන්නම එක තැනක - මහාලොකු දේවල් නැතුව, තියෙන විදිහට ජීවිතේට මූන දෙමු "සංතෝසෙන්" ඉමු කියන තැනට ආවට පස්සේ ඊලඟ ස්ටෙප් එකට යන එක.
ReplyDeleteනදීෂා - සත්‍ය සහ ප්‍රභන්ධය අතර ලොකු වෙනසක් නෑ කියලයි මම හිතන්නේ.
ඕනෑම කාන්තාවකට සිය කුටුම්භය පමනක් තමන්ගේ ලෝකය වුනාට සමාජය හා කෙලින්ම ගැටෙන පුරුෂයාට ඊට වඩා වපරිසයක අනිවාර්‍යෙන් රැඳෙන්න වෙනවා. එතනදී තමන්ගෙන් ඒ වෙනුවෙන් යම් ඉටුවිය යුතු කොටස පැහැර හරින්න කෙසේවත් බැහැ - නමුත් තමන්ගේ කුටුම්භයේ යුතුකම් ඉටුනොකර අනෙක් අය වෙනුවෙන් කරන කෙනෙක්ට කිසිසේත් සමාව දෙන්න බෑ. අනෙක වතුරට වඩා ලේ ඝනකමයි කියනවනේ.
බිරිඳ සැමියාගෙන් පලිගන්නවා දෝ කියලත් හිතෙනවා නේද? තමන්ට යුතුකම් ඉටුවෙනවානම් ඇයි ඔහු ලබන සතුට ගැන හිතන්න බැරි ආත්මාර්ථකාමී නොවී.
පවුල් ජීවිතේදී පරිත්‍යාගයන් කරන්න සිද්ද වෙනවා. මෙතන දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ පරිත්‍යාගය කරන්න ඉදිරිපත් නොවීමයි ඛේදවාචකය. ස්තූතියි අදහස් දැක්වීම ගැන
මේක ඔයගේම කතාවක්වත්ද?ඔව් මාත් පිලිගන්නවා අවට ඉන්න අයටත් යුතුකම් ඉටු කරන්න ඕනේ( ඒ වගේම යම් සීමාවක්ද තිබිය යුතුයි ) නමුත් මේකෙදී තමන්ගේ බිරිදගේ පැත්තෙනුත් මීට වඩා ටිකක් හිතනවා නම් හොදයි කියලයි මට හිතෙන්නේ.බිරිදට තමන් බලපොරොත්තු වෙන දේවල් ඔහුගෙන් නොලැබෙනවානම් බිරිද වෙන කුමක් හෝ තීරනයක් ගත යුතුයයි මගේ අදහස. වෙන පවුල්වලටම උදවු කරමින් තමන්ගේ පවුලේ සතුට නැති කරගෙන මනූ ලබන සතුට මොකක්ද? නදීෂා
ReplyDeleteමිත්‍රයා හොද පරිසරයක් නැති වුනාම හැදෙන දරුවා සමාජයට වෛර කරන කෙනෙක් වෙනවා කියන දෙ ටිකක් කල්පනා කරන්න අමාරුයි මනු. මම එච්චර වයස අත්දැකිම් තියන කෙනෙක් නෙමෙ. දරුවො හැමදෙයක් ම ඉගෙන ගන්නෙ දෙමව්පියන්ගෙන්. මම දරුවෙක් තවමත් මම තෙරුම්ගත්තු දෙයක් තමයි.පරිසරය කවදාවත් හැදෙන්නෙ නැහැ ඔයාට දරුවෙක්ව හොදට හදන්න. ඔයයි එක ඌ ට අටවලා දෙන්න ඔනා.. එක හින්දා තමයි දවසක ඌ ඔයාට තාත්තෙ කියලා වඳින්නෙ.
ReplyDeleteනදීෂා, රවා
ReplyDeleteස්තූතියි අදහස් දැක්වීම ගැන.
මෙහි දැක්වෙන අදහස් වලට 90%ක විරුද්ධ අදහසක් දරමි.
ReplyDeleteමෙතැන මනු චතුට, ඇයගේ සතුට වෙනුවෙන් ඉටු කරන්නට යෙදුනු යුතුකම මොකද්ද?
මනුසත් said...
කල්හාර දිසානායක - ප්‍රශ්න විසඳුනොත් හොඳයි. තව තවත් නරක් වුනොත් දෙන්නගේ ජීවිත විතරක් නෙමෙයි දරුවන්ගේ ජීවිතත් අඳුරේ නේද? ඊට වඩා හොඳයි නේද දෙන්නම එක තැනක - මහාලොකු දේවල් නැතුව, තියෙන විදිහට ජීවිතේට මූන දෙමු "සංතෝසෙන්" ඉමු කියන තැනට ආවට පස්සේ ඊලඟ ස්ටෙප් එකට යන එක.
මං හිතන්නේ චතූ කැමතියි මහාලොකු දේවල් නැතුව, තියෙන විදිහට ජීවිතේට මූන දෙමු "සංතෝසෙන්" ඉමු කියන තැනට ආවට පස්සේ ඊලඟ ස්ටෙප් එකට යන එක. යන මතයට. මෙතැන මනූ කියන ස්තාවරත්වයක් නැහැ කියන දේ පැහැදිලි මදි මට නම්.
කොටින්ම කියනවා නම් අපි බඳින කොට අපේ ගේ හදලා ඉවරත් නැහැ. මගේ සැමියාත් සමාජ හා ගැටෙන, යම් මට්ටමකින් ව්‍යාපාරික කටයුතු වල යෙදෙන කෙනෙක්. මමත් රස්සාවක් කරන කෙනෙක්. ඒත් අපි ඒවා බාධාවක් කරගත්තේ නැහැ දරුවන් ගැන හිතන්න. කොටින්ම කියනවා නම් අපි බැඳපු දිනයේ පටන් දරුවකු ගැන සිතුවා. අපේ සිතුම් මල් ඵල ගැන්වුනා. අද මොන මහන්සියෙන් ගෙදර ගියත් දෝණීගේ හිනා කට දැකපු ගමන් ඒ සේරම ඉවරයි. ගෙදරට කෝල් එකක් ගත්තහම බහතෝරන හඬින් පිළිතුරු දෙන ඇයගේ හඬ ඇහුනු ගමන් සේරම අමාරු කම් ඉවරයි. දරුවා පිළිබඳව හිතන්න ගත් දා පටන් ඒ පැටියා උපදින තුරු පුළුවන් තරම් හොඳින්ම කටයුතු කරලා බලන්න, පරිසරය මොන මුඩුක්කුව වුනත් දරුවා තරුවක් වෙන්නේ නැද්ද කියලා. අපි නම් මුඩුක්කුවක නෙමෙයි ජීවත් වෙන්නේ :) ඒත් අපේ දෝණිගේ කටයුතු දකින කොට පපුව පිරිලා පිරිලා පිපිරෙන්න තරම් සතුටක් හිතට දැනෙනවා. මං හිතනවා මේ ඔයාගේම ජීවිතයෙන් බිඳක් කියලා. අනේ කරුණාකරලා ඔයාගේ වයිෆ් ඉල්ලන සතුට එයාට දෙන්න. අඩුම ගානේ ඔයා ගෙදර නැති මොහොතේ එයාට දරුවා වත් ඉන්නවා නේද කියලා කාරුණිකව හිතන්න. මනුසත්කම කියන එක හරිම වටිනා දෙයක්. ඒ දේ වටින්නේ සැමට එකසේ බෙදුනාමයි.
අනිත් කාරණේ මනුසත් දෙන්නා ගැලපිලා දරුවෝ හදන්න ගියොත් පෙරහැර ගිහින් ඉවර වෙන්න පුළුවන්. ඔය බර්ත් කන්ට්‍රොල් කේස් නිසා පහුවෙනකොට දරුවෝ පිහිටන්න තියෙන අවස්ථාව අඩු වෙන්නත් පුළුවන්. ඒවාට බෙහෙත් කරන්න ගියහම දරුවෝ හදන්න පුලුවන් කාලේ පහු වෙලා තියෙන්නත් පුළුවන්. දෙන්නා ගැලපිලා දරුවෝ හදනවා නෙමෙයි වෙන්න ඕනේ, දෙන්නා ගැලපිලා ඉවර වෙලයි කසාද බඳින්න ඕනේ............
ReplyDeleteRanDil - ස්තූතියි අදහස් දැක්වීම ගැන.
ReplyDelete